Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Friday, April 10, 2015

තාමත් ආදරෙයි... !!


පමා වී පිපුනු මල් සුවඳයි... කසුන් කල්හාර එහෙම කියද්දි උබයි මමයි තාලෙට ඒ සිංදුව කියන්න හැදුවා. කියා ගන්න බැහැ. අපිට සිංදු කියන්න බැරි නිසා නෙවේ. ඇත්තටම උබ, මගේ මිදුලෙ පමා වෙලා පිපුන නිසා. අවුරුද්දක් දෙකක් ඉස්සර වුණා නම්, පිපිලාම ඉන්න තිබ්බා. අහවල් තැනක නෙවේ. මගේම මිදුලේ. මගේ වෙලා. ඒත් උබට කලින් කෙනෙක් මගේ මිදුලේ පිපිලු. අහම්බයක් නෙවේ. මම උස්සන් අරන් පෝච්චියක දාලා, පස් හිරකලා ඉන්දපු පැළයක්. මම සාත්තු කරලා, වතුර පෝර දාලා, සරු සාරෙට වැඩිලා. අද මගේ මිදුලේ. මම කැමැත්තෙන් ගෙනාව මිසක්. බලෙන් මිදුලට ආපු පැලයක් නෙවේ හැබැයි. ඒත් උබ ආවෙ ඊටත් පරක්කු වෙලා. ඉතිං මං කෝමද මගෙ පුංචි මිදුලේ උබව ඉන්දන්නේ. වත්ත පහල, ගේ පිලිකන්නේ ඉන්දලා වැඩක් තියෙනවද? ඉතිං මං සිතුවිලි හිරකලා, හිනාවෙන්, උබත් එක්ක මුමුනනවා. කල්හාරයගේ තාලෙට. අපිට අල්ලන්න බැරි සෘතියට.



ගෙදර ගෙනත් හිටවපු පැලේ මල් පිපිලා. වෙනද වගේම. මුල් දවස් වල පිපුනු මල් සුවදයි. ලස්සනයි. හැම එකාම වත්ත දිහා බලං එහා මෙහා ගියා. මමත් ගහ වටේම. වතුර දානවා උදේ හවස. දවල්ට වේලෙන්න නොදී තියා ගන්න. තෙතයි හැම තැනම. මුල විතරක් නෙවේ මැද අග හැම තැනම. තෙත් වුනාම සනීපයි. ඇත්තට වේලුනාම ඉන්න බැහැ. ආදරේ නිසාම. හිත පතුලේ තියන් රැක්කා. තාමත් රකිනවා. ගෙදර අරන් ඇවිත් තියාගෙන. උබ වෙනස්. මිදුලෙ හිටවන්න බැරි වුනාට. කොහේ හරි මුල් අදියි. එක තැනක. එදාට වෙන එකෙක් ඇවිත් වතුර දායි. පෝර දායි. මම අද හොරෙන් තෙත් කරල තිබ්බා වගේම. වෙන එකෙක් සින්නක්කරම මිදුලේ හිටවගෙන උබට වතුර දාලා තෙත් කරයි. මම වගේම මුල, මැද, අග හැමතිස්සෙම තෙත් කරල තියයිද? ඇත්තටම උබටත් සැකයි. මේ සැප වෙන කොයින්ද. එකක් පැලයක් ගහක්, මලක් එනතුරු රැක ගත්ත මගේ අත් ගුණය. උබ දන්නවා. උබටත් පුදුමයි. ඒ අාදරය, සෙනෙහස රැකවරණය වෙන කොහෙන් ලැබෙයිද? මගෙ වත්ත කෙළවර පිපුනත්, සැපයි උබට. මම දන්නවා. ඒත් පිළිකන්නෙ පිපිලා, කාට පෙන්නද? පිපියන් උඹ වෙන මිදුලක. ලස්සනට, කාගෙ හරි වෙලා. ගෙදර එකා නැත්තං අහසින් වැටෙන වැහි බිංදුවක් වෙලා හරි, මම තෙත් කරන්නම් රහසෙම.

හරි අසයි උබත් පාන්දර වැටෙන පින්නට. සීතලට, ලෝකෙට හොරෙන් තෙමෙන්න. මට මුමුනපු වචන වල, ඒ අසාවන් කැටි වෙලා තිබ්බා. වෙන මිදුලක පිපුනම, පාන්දර වැටෙන පින්න වෙන්න බැරි වෙයි. මොකද මම පින්නක් වෙලා මෙහෙ. මගෙ මිදුලෙ. මල් පෙත්තක. උබ හිටපං. මම එන්නම්. මහ දවාලෙ වැස්සක් වෙලා. රෑ පින්න වෙන්න වරමක් ලැබෙයිද වරක් දෙවරක්. හිතන්නත් බැහැ. ලැබෙන කල්. ඇයි සාත්තුව වැඩි. අනුන්ගෙ වත්තක මල් පුප්පන්න. හැම එකාම එහෙමද? නැත්තං මං විතරද? කියන්න බැහැ. අපි දන්නෙ අපි ගැන. උබ කැමතිනම්, අනුන්ගෙ වත්ත පිපෙන්න. මට අකැප නම් උබ මගේ වත්තෙ හිටවන්න. එකයි කරන්න තියෙන්නෙ. උබ පිපුන තැනට ඇවිත් පෝර අහුරක් දාන එක. රෑට පිනි බිංදුවක් වෙන්න බැරි නම්, හදිස්සියේ ඇඟට වැටෙන වරුසාවක් වෙන්න. මට පුලුවන්. 

හැබැයි එක දෙයක්. උබත් කලින් ඇවිත් මගේ මිදුලෙ පිපිනු නම්, උබ වෙනුවට මම වෙන එකෙක් ගේ මලක් ලස්සන කරන්න, පෝර දාන්න යයිද? හිතා ගන්න බැහැ පුදුමයි. මගෙ වත්තෙ තියෙන මලේ ලස්සන දකින්නෙ වෙන වත්තක එකෙක්. කොහෙවත් ඉන්න සමනලයෙක්, බඹරෙක් තමා ඇවිත් රොන් ගන්නෙ. ස්භාදහම ඒකයි. මගෙ මල, මට නොවටිනා කොට, පිට එකෙක් උරලා යන්න ට්‍රයි කරයි. හැබෑව ඒකයි. හිත හදා ගනින්. උබ මගෙ මිදුලෙ පිපුනත්, උබටත් මේ ටිකමයි. අද උබ දුර නිසා කියයි. එහෙම වෙන්නැ සත්තයි. මගෙන් පිට නොයන්න හිර කරලා දෙන්නම් රස සුවඳ කියලා. ඒත් අසම්මතයක් වූ සම්මතය ඒකයි. මගෙ මල මට අහිමියි. දුර මලක් මට හිමියි ඒ සිතින්. මගෙ මල මට හිමියි, දුර මලක් මට අහිමියි. ඒ ගතින්.

ඔව් මම තාමත් ආදරෙයි. නුඹ මගේ නොවන තාක්කල්..

3 comments:

  1. අම්මට සිරි, මේ පැත්ත මතක් වෙලා.. හෙහ්..

    ReplyDelete
  2. කොහේවත් පැලවෙන මල් ගහක මල් පූදිනකොට, ඒ මලට හිත ගියොත් අපි හැමෝම හදන්නේ කොහොම හරි ඒ මල අයිති කරගන්න. ඒ මල් ගහ අරගෙන අපේ ගෙවත්තේ පැල කරගන්නවා, වතුර දානවා, පෝර දානවා.....දැන් ඒ මල අයිති කරගෙන ඉවර නිසා චැලෙන්ජ් එකක් නෑ.... ඔන්න ඒ පාර හිත යනවා අපේ වත්තෙන් පිට පිපිච්ච මල් ගැන.....!

    ReplyDelete